ආයුබෝං

බලන්න ආවට බොහෝම සතු‍ටුයි.එහෙම නම් කියවලා මයෙ හිත හැදෙන්නත් එක්කලා කමෙන්‍ටුවකුත් දාලම යන්නකෝ.නැතත් තරහක් නම් නෑ.ආව එකම මදැයි.

Sunday, June 17, 2012

සෙරෙප්පු


මේ සතියෙ දාන්න හිටිය කථාව මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කථාවක්වුනත් ගිය ඉරිදා හදිසියෙම ඇඹිලිපිටි යන්න වුන නිසා කථාවත් වෙනස් වුනා.ඒ වුනත් කථාව ගමන ගැන නෙවෙයි.

අපි ගිය වාහනේ කඩුවෙල බස් නැවතුම පහු කරද්දි හොඳට ඇහැට හුරු කෙනෙක් අනෙක් පැත්තට යන නැවතුමේ බස් එකක් එන කල් බලන් හිටියා.

"වසන්ත මල්ලී"

හිතලා ම නොවුනත් එක පාරටම මට බැලුනෙ වසන්තගෙ කකුල් දෙක දිහා.හමුදා නිළදාරින් පළඳින විදියට දිස්නෙ ගහන්න මැදපු සපත්තු දෙකක් දාගෙන හිටිය වසන්ත මීට අවුරුදු ගානකට කලින් ඉස්කෝල කාලෙ කරපු තාමත් මට හරිද වැරදිද කියලා හරියටම හිතා ගන්න බැරි සිදුවීමකට මාව ආයෙමත් අරන් ගියා.

11 වසර.

මම ශිෂ්‍ය නායකයෙක් විදියට වැඩ කරන්න ගත්ත පලවෙනි අවුරුද්ද.ඔය බැජ් එක ගහපුවම සමහරුන්ට එන අමුතු උණ මටත් ඒ කාලෙ හොඳටම තිබුණා.දාල තිබුන නීති හරියටම පිලි පදින්න විතරක් නෙවෙයි ,වැ‍රැද්දක් අහු වුනාම කොල්ලන්ගෙ කන හරහා පාරක් ගහන්න තරම් අපිට උණ තිබුණා.ඔය නීති ක්‍රියාත්මක කිරිල්ල මොනා වුනත් දඬුවම් දෙන එක නම් අපිට අනුමත වෙලා තිබුන බලයක් නෙවෙයි.ඒත් අපිට ඉහලින් හිටිය අයියලා කරපු හින්දත් අපිටත් පොරවල් වගේ පෙන්නන්න තරම් උවමනාවක් තිබුණ හින්දත් අපි ඔය දඬුවම් දෙන වැඩෙත් කලා.(දැන්නම් ඒවා මෝඩ තකතීරු වැඩ කියලා හොඳටම දන්නවා).

මේ කාලෙ අපිට තිබුන මූලිකම රාජකාරියක් තමා කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ඇඳුම් කොණ්ඩ,නියපොතු,සපත්තු වගේ දේවල් ගැන වග බලා ගන්න එක.(කෙල්ලන්ගෙ ඒවට වෙනම කට්ටිය හිටියා).වග බලා ගන්නවය කිව්වෙ එක එක කාලෙට සමහර ‍රැලි එනවනේ.ඒවා පරික්ෂා කරලා රපොර්තු කරන එක වගේම සමහර තහනම් භාණ්ඩ අත් අඩංගුවට ගන්නත් අපි කටයුතු කලා.ඔය ඒ කාලෙ අපිත් ආස කරපු සමහර නළු නිලියන්ගෙ පින්තූර ළමා පත්තර එහෙම අපිත් ඉහළට ඉදිරිපත් කලේ පොලිසිය උසාවියට කසිප්පු නඩු ගේනවා වගේ තමා.අපිට ඕන විදියට වෙනස් කරලා.

මේ කාලෙ එක ‍රැල්ලක් ආවා කිටෝ සෙරෙප්පු ‍රැල්ල.ඊළඟට කිටෝ නැති එකා අපිට හුරුපුරුදු බාටා දාන්න ගත්තා.(දැන්වීමක් නොවේ)

ගොඩක්ම නාගරිකත් ගොඩක්ම ග්‍රාමියත් නොවුන අපේ ඉස්කෝලෙටත් මේ ‍රැල්ල ආව කාලෙ මට මතක විදියට අපෙ ඒ කාලෙ විදුහල්පතිතුමා කලේ ගේට්‍ටුව ළඟදිම මේ සෙරෙප්පු ගලවලා බෑග් එකකට එකතු කරපු එක.ආයෙත් සෙරෙප්පු දුන්නෙ ගෙදර යද්දි.සෙරෙප්පු මාරු වෙලා නැත්නම් උවමනාවෙන් හොරෙන් උස්සන් ගිය ඒවත් මේ දවස්වල වුනා.

ඔන්න ඕවා දකින්න ලැබුනම තමා අපිටත් ඉස්කෝලෙ ගැන නීති රීති ගැන පපුවෙ හිරවෙලා තිබුන හැඟීම බුර බුරා නැගෙන්න ගත්තෙ.උදේ පාන්දර ඉස්කෝලෙ වටේ රවුම ගහන්න යන අපි ගෝනියක් අරන් ගිහින් සෙරෙප්පු අල්ලන වැඩේ ජයටම කරන්න පටන් ගත්තා.ඊළඟට අපිට නිවේදනය ආවෙ මොන තරම් බාල වුනත් සපත්තුම දැමිය යුතුයි කියන නීතිය ඉස්කෝලෙ දැම්ම කියලා.මේක කරන්න හේතුව වෙනම දෙයක් වුනත් නීතිය දාපු නිසා අපි පොතේ හැටියටම වැඩේ තදටම කරන්න ගත්තා.

වසන්ත මේ කාලෙ හිටියෙ 9 වසරෙ.අවුරුද්දෙ අග 10 වසරට කිට්‍ටුව.මේ මනුස්සයා හැමදාම එන්නෙ බාට දාගෙන.හැමදාම ඇහුවම කියන්නත් මිනිහට උත්තරක් තිබුනා.

"හරි හරි,එන්න පරක්කු වුනා.හෙට දාගෙන එන්නං"ඕක තමයි මිනිහගෙ උත්තරේ.

දවසක් උදේ වසන්ත ඔය විදියමට සෙරෙප්පු දාගෙන ඉස්කෝලෙ පිටිපස්සෙ ගේට්‍ටුවෙන් ඇතුලට එනවා මම දැක්ක.

"මොකද තමුසෙ හොර පාරෙන්"

"නැ අයියෙ ,මේ පාර ගෙදරට ළඟයි.ඒකයි මෙහෙන් එන්නෙ"වසන්ත උත්තර දුන්න.

"මොකද සෙරෙප්පු.ඕවා බෑ.ගලෝනව ගලෝනවා."අපි අවවාද කලාට මීට කලින් මිනිහගෙ සෙරෙප්පු ගලවල තිබුනෙ නෑ.

"ගලවන්න බෑ.ඇයි මොනා කරන්නද?"

මිනිහා කට්ටිය ඉස්සරහ දාපු සද්දෙ අපිටත් ඔරොත්තු දුන්නෙ නෑ

"ගලෝපිය ඩෝ සෙරෙප්පු දෙක"මාත් එක්ක හිටපු අනිත් ශිෂ්‍ය නායකයොත් මේකට පටලවෙද්දි වසන්ත සෙරෙප්පු දෙක ගැලෙව්වා.සද්දෙ දාල සෙරෙප්පු දෙක ගලව ගත්තු අපි

"ෆ්‍රින්සිපල්ට කියලම ගනින්"
කියලා ආවෙ මේකා අපිට ලොකුකම පෙන්නන්න ආව හින්දා.එදා හවස වසන්ත සෙරෙප්පු දෙක ආපහු ගන්න ආවෙ නෑ.

පහුවදත් අපි වසන්තලගෙ පන්ති පැත්තෙ ගියා.ඒත් මිනිහා ඇවිත් හිටියෙ නෑ.එදාට දවස් දෙක තුනකට පස්සෙ මමත් තව යාලුවෙකුත් ඉස්කෝලෙ හවස තිබුණ පන්තියකටත් ඉඳලා පයින්ම පාර දිගේ ආපහු එනවා.

දන්න කියන මූණක් පාර අයිනෙ තිබුණ ලොකු වත්තක උදළු ගානවා.

"වසන්ත"

"අයියෙ.අද හවස් වෙලා වගෙ" වසන්තම අපිව දැකල කථා කලා.

"ඔව්.මොකද මෙහේ.මෙහෙද ඉන්නෙ"

"නැ අයියෙ.හවසට මෙහේ කුලියට වැඩ කරනවා"මගෙ පපුව හීතල කරන් කඩා වැටෙනව වගේ දැනුනෙ මේ වෙලාවෙ.පොත් වල කියවල තිබුනට 9 වසරෙ ළමයෙක් කුලියට ගේක වැඩ කරනවා කියලා ඇත්ත ලෝකෙදි මම දැන ගෙන හිටියෙ නෑ.

"ඒ ඇයි?.තාත්තා මොකද කරන්නෙ"

තාත්තා නෑ අයියෙ,අම්ම ඉස්කෝලෙ එහා පැත්තෙ උළු මෝලෙ වැඩ කරන්නෙ.ඒක අපිට මදි.සපත්තු දෙකක් ගන්නත් සල්ලි නැතුව හිටියෙ අයියෙ"

එවෙලෙ පුලුවන්කමක් තිබුනනම් සපත්තු දෙකක් කොහෙන් හරි ගෙනත් දෙන්න තරම් හැඟීමක් ආවත් ඒ කාලෙ අපිට වුනත් එහෙම පුළුවන්කමක් තිබුනෙ නෑ.

"එදා ළමයි ඉස්සරහ ඕගොල්ලො කෑ ගැහුවම මට ලැජ්ජ හිතුනා අයියෙ,ඒකයි මාත් එහෙම කථා කලේ.ලබන සතියෙ සපත්තු දාගෙනම එන්නම්"

"සපත්තු ඕන නෑ .උඹ වරෙන්"උගුරෙන් නිකන්ම මගේ වචන පිට වෙන්න ඇති.

පහුවදා මම අපේ විනය භාර සර් හම්බ වෙලා මේ කථාව කිව්ව.

"කවුද ඕගොල්ලන්ට සෙරෙප්පු ගලවන්න කිව්වෙ.ළමයි බය කරන්න එහෙම කිව්වට ,මිනිස්සුන්ගෙ බැරි අමාරුකම් දැනගෙනයි අපි වැඩ කරන්න ඕනෙ.සර් අපිට කීවෙ එහෙම.

පුදුමාකාර දුකක් හිතට දැනුන මේ සිද්දියෙන් පස්සෙ මම  විනය රකින්න කාටවත් ඔය වගේ මෝඩ දේවල් කරන්න ගියෙ නෑ.

අවුරුදු ගානකට පස්සෙ වසන්ත ආයෙත් දවසක පිටකො‍ටුවෙදි මටහම්බ වුනා.හමුදා ඇඳුම ඇඳලා දිලිසෙන්න සපත්තු මැදලා වසන්ත මගෙ ඉස්සරහ හිටියා.

"ඒ ලෙවල් කලේ නෑ අයියෙ.ගෙදරටත් අමාරුයි.මම ආමි එකට ගියා.දැන් හොඳයි"..මේ යුද්ධෙ තදටම ඇවිලෙන කාලෙ දවසක්.

එදා ආයෙත් පසු තැවීම මගෙ හිතට ආවා.මෙහෙම වෙන්න මාත් හේතුවක්ද කියලා,

නෑ වසන්ත මැරුනෙ නෑ.ගිය සතියෙ වසන්ත මල්ලිව දැකපු වෙලෙ මට පුදුම සතුටක් දැනුනෙ.මිනිහා යුද්ධෙන් නැතිවුනේ නෑ..නෑ ,ආයෙ නම් මම එහෙම වැඩ කරන්නෙ නෑ.ඒත් තාමත් මට අර විශාල වත්තෙ උදළු ගාපු කොල්ලව මැවිලා පේනවා

26 comments:

  1. තවත් එක් සoවේදී කතාවක්...මටත් මේ වගේ දේවල් වෙලාත් තියෙනව. මෙහෙම දේවල් වලට මුහුන දීලත් තියෙනව.

    ඒ නිසා තමයි මo නීතියට, සම්ප්‍රදායට වඩා මනුශ්ෂත්වයට ගරු කරන්නෙ.

    මේ ලිපියෙ මෙන්න මේ කොටසට මගේ ආචාරය.

    /*දැන්නම් ඒවා මෝඩ තකතීරු වැඩ කියලා හොඳටම දන්නවා*/

    එහෙම දෙයක් තමන්ට අවන්කවම දැනුන කියන්නෙ ගොඩක් දුරට ආයෙ ඒ වගේ දෙයක් නොවෙන්න තියන ඉඩ වැඩියි.

    ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
    තවත් සාර්තක බ්ලොග් අoකුරයක් පීදෙනව වගේ :P

    තව ලියන්න. ඔබට ජය!!!

    ReplyDelete
  2. මනුස්සකමක් නැතුවට වඩා මෙතන වුනේ ඇත්තටම නීතිය හරියට කරන්න ගිය එක.ඒත් මං පාඩමක් ඉගෙන ගත්තා.ස්තූතියි.

    ReplyDelete
  3. ඔන්න මමත් ආව මේ පැත්තේ.. හෙමීට කියවන්නම්.. :) දිගටම ලියමු..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දිනේෂ්.

      Delete
  4. තවත් කෙනෙක් හිනා වුණාට.. ඒ කෙනාගෙ හිත ඇතුලෙ කොයි තරම් නම් ප්‍රශ්න ඇතිද..
    ආයෙත් ඒ වගේ හිත්රිදීමක් නොවෙන්න ගත්තු තීරණය නම් අගෙයි..
    ඕන් අද ඉදන් මමත් මේ පැත්තෙ.. :)
    දිගු ගමනකට සුබ පැතුම් ඔබට..!!

    ReplyDelete
    Replies
    1. එක්කො ප්‍රශ්න තියන අය කාට හරි කියනවනම් ඒවා මොන විදියෙන් හරි විස‍ඳෙයි කියලත් හිතෙනවා.හැබැයි සමහර වෙලාවට ඒ කථාව හරින්යන්නෙ නෑ.කොටින්ම මමත් ලේසියෙන් ප්‍රශ්න කියන්නෙ නෑ.පාඩම් ඉගන ගන්නත් මෙහෙම දේවල් වෙන්නම ඕන.ස්තූතියි ආවට.

      Delete
  5. මුලින්ම වර්ණ ට මගේ ස්තුතියි...තමන් කරපු දෙයක් වරදක් නම් ඒ බව පිළිඅරගෙන පසුතැවිලි වෙන එකත් හැමෝටම කරන්න බැහැ...

    මේකනම් සංවේදී කතාවක්. ගොඩක් ළමයි නැති බැරිකම් කියන්න කැමතිත් නැහැනේ. ඉතින් ඔය වගේ දේවල් අනන්තවත් වෙනවා ඇති...:(

    ReplyDelete
  6. අග හිඟකම් නිසා දුක් විඳින මිනිස්සු ගැන ලියලා ඉවර කරන්න බෑ සයුරි.

    ReplyDelete
  7. මාත් ආවා බලන්න කවුද මේ වර්ණ කියලා...:D වර්ණා ගෙ සහෝදරයෙක්වත්ද?? :D

    සංවේදීයි!!දිගටම ලියන්න...!!

    ReplyDelete
  8. අපි කවුරුත් කොහෙන් හරි බැලුවොත් නෑයො තමා.වර්ණාත් ඇවිත් ගිහින් තිබුණා.ස්තූතියි මේ පැත්තෙ ආවට.

    ReplyDelete
  9. ඇත්තටම සංවේදී කතාවක් සහෝ හිතට හොදින්ම දැනුනා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත.අදටත් වසන්තව දකිද්දි මට එක පාරටම මතක් වෙන්නෙ මේ සිදුවීම.මං මහා පවක් කළා වගේ හැඟීමකුත් එක්ක.

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. සංවේදී අත්දැකීමක්..ඒ වගේ අත්දැකීම් කාටත් පොදුයි
    මමත් ඔතන හිටියා නම් ඔය ටිකම තමයි කරන්නේ

    ReplyDelete
    Replies
    1. සෙරෙප්පු ගලවන එකද?රණ්ඩු වෙන එකද?අයියෝ හිතන්නවත් එපා.දෙකම වැරදියි.

      Delete
  12. මං අද වෙන්න ඇති අනන්තය දකින්න එන්න ඇත්තේ. හෙන සංවේදියි බං. මමත් ඔය දේම කලා. එතකොට මං උසස් පෙල. මට බාරවෙලා තිබුනේ අටවසරේ පන්තියක්. ඒකේ හිටියා කොල්ලෙක්... හැම දාම සෙරප්පු.

    කොච්චර කිව්වත් අහන්නේ නැති පාර, මං උංගේ පන්ති නායකයගෙන් ඇහුවා. මෑන්ගේ තාත්තා නෑ. අම්ම කඩල විකුනනවා. පට්ට දුකයි ඒ වෙලාවේ. ඒ පාර ගෙදර මං පැත්තකට කරලා තිබ්බ සපත්තු දෙකක් ගෙනත් දුන්නා. මිනිහා ඒක හෙන ආසාවෙන් දැම්මා. මටත් හරි සතුටුයි ඌ ඒක දාගෙන දඟලනවා දකිද්දි...

    දැන් නම් අපේ කම්පැනි එකේම හෙඩ් ඔෆිස් එකේ කිචන් එකේ වැඩ...

    ReplyDelete
  13. සල්ලි නැතුව දුක් විඳින කොල්ලො කෙල්ලො අනන්තවත් අපි අතර ඉන්නවා.කාටවත් කියන්නෙ නැතුව.ආදරයෙන් පිලි ගන්නවා අනන්තයට.හැමදාම එන්න.

    ReplyDelete
  14. කොල්ල අසරන වෙන්න ඇති ඒ වෙලාවේ. පව්..

    ජය සැමට !

    ReplyDelete
  15. හොද වෙලාවට අපිට නායක පට්ටන් තිබුන්නැත්තේ

    ReplyDelete
  16. නැති එකමයි හොඳ.ස්තූතියි මේ පැත්තෙ ආවට

    ReplyDelete
  17. Replies
    1. ඒකම තමා වටින්නෙත්

      Delete
  18. කියාගන්නබැරිඋන කොච්චරකතාතියේද අපේහිත්වල

    ReplyDelete
    Replies
    1. කිව්වට වැඩක් නැති දේවලුත් තියනවනේ

      Delete
  19. අපිත් ඒ කාලෙ ඔය වගේ දේවල් කලා.අපි ඒ කාලෙ ලොකුවට හිතන්නැති දේවල් නිසා ඔය වගේ පුශ්ණ එනවමයි!ඒත් අදයි හිතෙන්නෙ ඒව මෝඩ වැඩ කියල.

    ReplyDelete