ආයුබෝං

බලන්න ආවට බොහෝම සතු‍ටුයි.එහෙම නම් කියවලා මයෙ හිත හැදෙන්නත් එක්කලා කමෙන්‍ටුවකුත් දාලම යන්නකෝ.නැතත් තරහක් නම් නෑ.ආව එකම මදැයි.

Friday, July 6, 2012

ඇහැ දෙනවද?



මුලින්ම කියන්න ඕන අද ලියන්නෙ කථාවක් නෙවෙයි.හැබැයි මේ ලියන දෙයින් කාට හරි පුංචියට හරි වැඩක් වෙයි කියලා හිතනවා. ඇහැ දෙනවා කිව්වම එක පාරටම මතක් වෙන්නෙ වෙන දෙයක්නෙ. නැහැ.මේ වෙන දෙයක්.

මම යන්න අකමැතිම තැන මොකක්ද කියලා කවුරු හරි මගෙන් ඇහුවොත් මට එක පාරටම මතක් වෙන්නෙ පිළිකා රෝහල.ඒකට හේතුවකුත් තියනවා.කාලයක් අපි ඉස්කෝලෙන් දානයක් දෙන්න නිතර එහෙ ගියා.එක දවසක් ගිහින් දකින කෙනෙක් ඊළඟ දවසෙ ඉන්න විදිහ දැක්කම හිතට කියා ගන්න බැරි දුකක් දැනෙන්නෙ.වෙලාවකට හිතෙනවා ජීවිතේ කියන්නෙ මේකද කියලා.මිනිස්සු ඉපදිලා ඉගනගෙන ගහ මරාගෙන අන්තිමේ ලෙඩ වෙලා පැත්තකට වෙද්දි ඉන්න ටික කාලෙටනෙ මේ හැමදේම කියලා නොහිතෙනවනම් ඒක පුදුමයක්.

අපි හැමෝම මැරෙනවා.මැරෙන එකත් ලකේට මැරෙන්නනෙ අපි ගොඩ දෙනෙක් හිතන්නෙ.වටින ලීයකින් හදපු පෙට්ටියක්.සෙනඟ කන්දරාවක්.මහා ගුණ කථන මේවා තමයි නොමැරෙනවා කියලා හිතාන ජීවත් වෙන හුඟක් අයගෙ මරණ මංචකයෙ දකින් හීන.අන්තිමේ එක්කො පුච්චලා දානවා.නැත්නම් පණුවො ගහලා දිරන්න වළලලා දානවා.

ඇත්තටම රටට ලෝකෙට වැඩක් කරපු අයට වගේම උපන්නට ජීවත් වෙලා මැරෙන ගොඩක් අයගෙ ඉරණම මේකයි. අපිට බැරිද මැරෙන මොහොතෙ හරි තවත් ජීවත් වෙන මනුස්සයෙක්ට සතුටක් දෙන්න. බලන්න ඒ සතුට විඳින්න වෙර දරන හැටි.


අත පය ,වකුගඩු,ඇස් නැතිව,එහෙම නැත්නම් හානි වෙලා දුක් විඳින අය අපි අතර අනන්තවත් ඉන්නවා.ලෝකය දකින්න වාසනාව නැතුව දුක් විඳින කෙනෙක්ට ලෝකය දකින්න මැරුනම ඔහේ පිච්චිලා යන ,එහෙම නැත්නම් දිරලා යන ඇස් දෙන්න අපිට පුළුවන්.වකුගඩු පටක උනත් එහෙමයි.අපි මොන ආගමක වුනත් අපි ඒ දේ කරන්නෙ තවත් මනුස්සයෙක් නිසානෙ.

සමහරු හිතනවා තමන්ගෙ මිනියට හොඳට ගරු සරු ඇතුව අවසන් කටයුතු නොකලොත් එහෙම නැත්නම් තමන්ගෙ ළඟම නෑයෙක්ගෙ මිනියට හරියට අවමඟුලක් සිදු නොඛලොත් ඒක ලොකු අවනම්බුවක් කියලා.ඒත් ඒ මැරිච්ච සිරුර වෛද්‍ය විද්‍යාලයකට දුන්නොත් කී දෙනෙක්ගෙ ජීවිත බේර ගන්න උදව් වේවිද?

ඒ විතරක් නෙවෙයි තමන්ගෙ ශරීරය තමන් මිය ගියාට පස්සෙත් තව කෙනෙක්ට ජීවත් වෙන්න අත් වැලක් වේවි.

ඒ වගේ උතුම් දෙයක් කරන්න කැමති නම් ඇස් සම්බන්ධව ශ්‍රී ලංකා අක්ෂි දාන සංගමය,විද්‍යා මාවත ,කොළඹ 7 ලිපිනයෙන් විස්තර ගන්න පුලුවන්.මෙතන පටක පරිත්‍යාග කරන්නත් අවස්ථාව දීලා තියනවා.
මේ වෙබ් අඩවියෙනුත් විස්තර ගන්න පුළුවන්.

Thursday, June 28, 2012

ආදරේ ලස්සනයිද?



සති දෙකකට පස්සෙ බ්ලොග් එකට අත තිබ්බෙ.කතා නම් ලියන්න බර තොගයක් තිබුනත් තාම මම ලියන්නෙ ජීවිතේ සුන්දරයි කියලා ඕනම කෙනෙක්ට එක පාර මතක් වෙන කාලයක වුන සිදුවීම්.මේවා මේ විදියටම වුනාද වෙනවද කියලා කෙනෙක්ට හිතෙන්න පුලුවන්.ඒත් මේ ලියන හැම සිදුවීමක්ම ඇත්තටම වුනා.අහන්න නම් එපා අඳුනන හැමෝම මෙහෙමද කියලා.කොච්චරක් නම් මිනිස්සු හම්බ වෙනවද මේ ජීවිතේ රස්තියාදු ගහන ටික කාලෙට.ඉතිං කථාව.

පස්සෙ කාලෙක මට හොඳට අහලා පුරුදු වුන කියමනක් තමයි හොඳ පළතුරු කන්නෙම පනුවො කියලා.මංදන්නෙ නෑ ඇත්තද කියලා. මේකෙ තේරුම මොකක්ද කියලා හැමෝම දන්නවනේ. ඒ කියන්නෙ ලස්සන කෙල්ලො හම්බ වෙන්නෙම කැත කොල්ලන්ට කියන එකනෙ. කෙනෙක් ලස්සනද කැතද කියලා වෙන් කරන්නෙ කොහොමද කියලා මට හිතා ගන්න බෑ.මට හිතෙන්නෙ ඒක සාපේක්ෂයි කියලා.හැබැයි කෙනෙක් කියන වචනයක් තව කෙනෙක්ගෙ හිතට මොන තරම් බලපෑමක් කරනවද කියලා නම් අපිට හිතන්න වෙනවා.

පුංචි ළමයෙක් වෙලා ඉඳලා රටේ ලෝකෙ ගැන දැන ගන්න පටන් ගන්න කාලෙම හිතට එන ආදරේ කියන දේ පණුවටත් සමණලයත් එකයි.හිත පුරෝලා කාට හරි ආදරේ කරද්දි දැනෙන අහිංසක සතුට වගේම මොනවා හරි හේතුවකින් තමන් විඳින ඒ ආදරේ නැතුව යයි කියලා බයවෙන්නෙත් තමන්ට තියන ලොකුම සතුට මේ ආදරේ තමයි කියලා හිතන්නෙත් තැලිලා පොඩි වෙලා නැති හිතක් ලෝකෙ මොන වගේද කියලා තේරුම් ගන්න තරම් අහිංසක වැඩි හින්දා.මේ හැබැයි දැන් මට හිතෙන හැටි.හැබැයි ජීවිතේ එක කාලෙක හුඟ දෙනෙක්ගෙ හිතට එන ආදරේ බොළඳයි කියලා නම් මම දන්නවා. ආදරේ කරන්නෙ ඇයි නොකරන්නෙ ඇයි කියලා හේතු හදා ගන්නෙත් අමුතුම විදියකට හින්දා මේ කථාවෙ හරි වැ‍රැද්ද මම කියන්නවත් හොයන්නවත් යන්නෙ නෑ.

රුවන්........මමත් එක්ක හය වසරෙ ඉඳන්ම එකට හිටි යාළුවෙක්.කොච්චර හිතුවත් හදා ගන්න බැරි වැ‍රැද්දක් මිනිහට තිබුනා.ඒ ඇඟිලි උරන එක.ඒ හින්දම මුළු ඉස්කෝලෙ පුරාම රුවන්ව දැනගෙන හිටියෙ සූප්පුවා කියලා.

හැම වෙලේම පිත්තක් අරගෙන සෙල්ලම් කරන්නම ලෑස්ති වෙලා හිටිය හින්දා කවදාවත් රුවන්ගෙ ඇඳුමක් සුදු පාටින් තිබුන බවක් නම් මට මතක නෑ.එහෙව් රුවන් ඇඟිල්ල කටේ දාගෙන පොඩි එකා වගේ ඉන්න ගමන්ම කෙල්ලෙකුට ආදරේ කරන්න පටන් ගත්තා.කරුමෙ කියන්නෙ මිනිහගෙ හිත ගියෙ ඉස්කෝලෙ ටීචර් කෙනෙක්ගෙ දුවෙක්ට.ටීචර්ලාගෙ දුවලා ඉතින් කොහොමත් ඉස්කෝලෙදි ඉන්නෙ අඩි ගානක් උඩින්නෙ.මොනා වුනත් සංසාරෙ කරුම කරලා පල දෙන්න තියනවා නම් වලක්වන්න බෑ වගේ රුවන්ගෙ ඒක පුද්ගල ප්‍රේමය ටිකෙන් ටික දළු දාලා වැඩෙන්න ගත්තා.

මේ ආදරේ හිමි කෙල්ල තුෂාරි රුවන්ගෙ මේ ආදරේට පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ.කොටින්ම තුෂාරි අම්මට කියලා කී සැරයක් රුවන් ගුටි කෑවද කියලා රුවන්ටවත් මතක නැතුව ඇති.හංගන්නෙ මොකටද?මේ ආදර කථාවට උඩගෙඩි දෙන්න ගිහින් මාත් කීප සැරයම හොඳට සලකා ගත්තා.

කෙළ නාගෙන,මඩ නාගෙන හිටිය මනුස්සයා එක පාරටම සෙල්ලම නවත්තලා පාඩම් වැඩ වලට බැස්සෙ මේ සිද්ධියෙන් පස්සෙ. කොටින්ම ළඟම ඉඳන් අවුරුදු ගානක් ඇඟ පුරාම කෙළ ගාගෙන හරි ආශ්‍රය කරපු එකා කෙල්ලෙක් එක්ක යාළු වෙලා හරි මනුස්සයෙක් වෙනවට අපි කැමති වුනා.ඒ හින්දම එක දවසක් මම තුෂාරි එක්ක මේ ගැන කථා කළා.මතක විදියට 10 වසරෙ මුල.

"ඇයි ඔයා රුවන්ට කැමති නැත්තෙ"

"ඒක කියන්න බෑ."තුෂාරි මේ ගැන කථා කලේ ඒ තරම් කැමැත්තකින් නම් නෙවෙයි.

"ඒ වුනාට අඩු ගානෙ ඔයා හේතුවක් හරි කියනව නම් එයා අත ඇරලා හරි දායි නෙ"මම කොහොම හරි උත්සාහ කලේ හේතුවක් දැන ගන්න.

"මම කවදා හරි බඳිනවනම් බඳින්නෙ කාරෙකක් තියන තට්‍ටු දෙකක ගෙයක් තියන කෙනෙක්ව.රුවන්ට කවදාවත් එහෙම වෙන්න බෑ.ඒකයි කැමති නැත්තෙ."

ඇත්තටම රුවන්ට ඔය සුදුසුකම් දෙකම තිබුනා.ඒත් ඒවා කියලා කෙල්ලගෙ හිත දිනා ගන්න මිනිහා කැමති වුනේ නෑ.ඒ වෙනුවට රුවන් වෙන දෙයක් කළා.සෙල්ලම අත ඇරලා කොටින්ම ඇඟිලි උරන එකත් නවත්වලා ඉගන ගන්න ගත්තා.මිනිහා පාඩම් කරන්න ගත්තෙ පිස්සුවෙන් වගේ. එහෙම කරන ගමන් තමන්ගෙ ආදරේ ආයෙ ආයෙත් තුෂාරිට මතක් කලා.

ඔහොම ගිහින් අන්තිමේ එක දවසක තුෂාරි රුවන්ට ආදරෙයි කිව්වා.

මිනිහෙක්ගෙ ජීවිතේ අනිත් පැත්ත හරවන්න ආදරේ කරන කෙල්ලෙක්ගෙ වචනෙකට මොන තරම් හැකියාවක් තියනවද කියලා අපිට තේරුම් යන්න පටන් ගත්තෙ මේ කාලෙ.

ඒත් වාර කීපයක් තර‍ඟෙට වගේ පාඩම් කරපු රුවන් ආයෙත් හිටි හැටියෙම පරණ තත්වෙට වැටෙන්න ගත්තා.වචන දහයක් කථා කලොත් නවයක්ම තුෂාරි ගැන කථා කරපු රුවන් තුෂාරි ගැන වචනයක්වත් කථා නොකරන ගාණට ආවා.ඒත් හිත මොකක් හරි ලොකු දුකකින් පුරවගෙන ඉන්නවා කියලා නම් අපිට තේරුනා.ඒ දුක මොකක්ද කියලා අපි දැන ගත්තෙ රුවන් නිදි පෙති බීලා ඉස්පිරිතාලෙ නැවැත්තුවා කියලා දැන ගත්තටත් පස්සෙ.

මාස ගාණක් ආදරේ කළාට පස්සෙ ආයෙත් තුෂාරිට රුවන්ව එපා වෙලා.

"ඔයා දන්නවනෙ රුවන් තුෂාරි ගැන.අමුතු විදියටනෙ හිතන්නෙ.මමනම් එහෙම කියන්නෙ නෑ.ඒත් තුෂාරි කියනවා ඔයා කැතැයිලු.ඒකයි ඔයාට කැමති නැත්තෙ"තමන්ගෙ යාළුවන්ගෙ පෙම්වතුන් එක්ක බලද්දි රුවන් කැත කොල්ලෙක් විදියටයි තුෂාරි දැකලා තිබුනෙ.අපිට මේ කැත ලස්සන ගැන කවදාවත් කල්පනා වෙලා නොතිබුනත් තුෂාරි හුඟක් ඒ ගැන හිතලා.

මේ සිද්ධියෙන් යාන්තම් පණ බේරගෙන මහ ඉස්පිරිතාලෙ ඇඳක වැටිලා ඉන්නකොට අපි රුවන්ව බලන්න ගියා.එදා රුවන් දිගටම අපෙන් ඇහුවෙ එක දෙයයි.

"මචං මං කැත වෙන්න පුලුවන්.ඒත් මං අවුරුදු ගාණක් හිතේ තියාගෙන හිටපු ආදරෙත් කැතද මචං?"



Sunday, June 17, 2012

සෙරෙප්පු


මේ සතියෙ දාන්න හිටිය කථාව මීට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් කථාවක්වුනත් ගිය ඉරිදා හදිසියෙම ඇඹිලිපිටි යන්න වුන නිසා කථාවත් වෙනස් වුනා.ඒ වුනත් කථාව ගමන ගැන නෙවෙයි.

අපි ගිය වාහනේ කඩුවෙල බස් නැවතුම පහු කරද්දි හොඳට ඇහැට හුරු කෙනෙක් අනෙක් පැත්තට යන නැවතුමේ බස් එකක් එන කල් බලන් හිටියා.

"වසන්ත මල්ලී"

හිතලා ම නොවුනත් එක පාරටම මට බැලුනෙ වසන්තගෙ කකුල් දෙක දිහා.හමුදා නිළදාරින් පළඳින විදියට දිස්නෙ ගහන්න මැදපු සපත්තු දෙකක් දාගෙන හිටිය වසන්ත මීට අවුරුදු ගානකට කලින් ඉස්කෝල කාලෙ කරපු තාමත් මට හරිද වැරදිද කියලා හරියටම හිතා ගන්න බැරි සිදුවීමකට මාව ආයෙමත් අරන් ගියා.

11 වසර.

මම ශිෂ්‍ය නායකයෙක් විදියට වැඩ කරන්න ගත්ත පලවෙනි අවුරුද්ද.ඔය බැජ් එක ගහපුවම සමහරුන්ට එන අමුතු උණ මටත් ඒ කාලෙ හොඳටම තිබුණා.දාල තිබුන නීති හරියටම පිලි පදින්න විතරක් නෙවෙයි ,වැ‍රැද්දක් අහු වුනාම කොල්ලන්ගෙ කන හරහා පාරක් ගහන්න තරම් අපිට උණ තිබුණා.ඔය නීති ක්‍රියාත්මක කිරිල්ල මොනා වුනත් දඬුවම් දෙන එක නම් අපිට අනුමත වෙලා තිබුන බලයක් නෙවෙයි.ඒත් අපිට ඉහලින් හිටිය අයියලා කරපු හින්දත් අපිටත් පොරවල් වගේ පෙන්නන්න තරම් උවමනාවක් තිබුණ හින්දත් අපි ඔය දඬුවම් දෙන වැඩෙත් කලා.(දැන්නම් ඒවා මෝඩ තකතීරු වැඩ කියලා හොඳටම දන්නවා).

මේ කාලෙ අපිට තිබුන මූලිකම රාජකාරියක් තමා කොල්ලන්ගෙ කෙල්ලන්ගෙ ඇඳුම් කොණ්ඩ,නියපොතු,සපත්තු වගේ දේවල් ගැන වග බලා ගන්න එක.(කෙල්ලන්ගෙ ඒවට වෙනම කට්ටිය හිටියා).වග බලා ගන්නවය කිව්වෙ එක එක කාලෙට සමහර ‍රැලි එනවනේ.ඒවා පරික්ෂා කරලා රපොර්තු කරන එක වගේම සමහර තහනම් භාණ්ඩ අත් අඩංගුවට ගන්නත් අපි කටයුතු කලා.ඔය ඒ කාලෙ අපිත් ආස කරපු සමහර නළු නිලියන්ගෙ පින්තූර ළමා පත්තර එහෙම අපිත් ඉහළට ඉදිරිපත් කලේ පොලිසිය උසාවියට කසිප්පු නඩු ගේනවා වගේ තමා.අපිට ඕන විදියට වෙනස් කරලා.

මේ කාලෙ එක ‍රැල්ලක් ආවා කිටෝ සෙරෙප්පු ‍රැල්ල.ඊළඟට කිටෝ නැති එකා අපිට හුරුපුරුදු බාටා දාන්න ගත්තා.(දැන්වීමක් නොවේ)

ගොඩක්ම නාගරිකත් ගොඩක්ම ග්‍රාමියත් නොවුන අපේ ඉස්කෝලෙටත් මේ ‍රැල්ල ආව කාලෙ මට මතක විදියට අපෙ ඒ කාලෙ විදුහල්පතිතුමා කලේ ගේට්‍ටුව ළඟදිම මේ සෙරෙප්පු ගලවලා බෑග් එකකට එකතු කරපු එක.ආයෙත් සෙරෙප්පු දුන්නෙ ගෙදර යද්දි.සෙරෙප්පු මාරු වෙලා නැත්නම් උවමනාවෙන් හොරෙන් උස්සන් ගිය ඒවත් මේ දවස්වල වුනා.

ඔන්න ඕවා දකින්න ලැබුනම තමා අපිටත් ඉස්කෝලෙ ගැන නීති රීති ගැන පපුවෙ හිරවෙලා තිබුන හැඟීම බුර බුරා නැගෙන්න ගත්තෙ.උදේ පාන්දර ඉස්කෝලෙ වටේ රවුම ගහන්න යන අපි ගෝනියක් අරන් ගිහින් සෙරෙප්පු අල්ලන වැඩේ ජයටම කරන්න පටන් ගත්තා.ඊළඟට අපිට නිවේදනය ආවෙ මොන තරම් බාල වුනත් සපත්තුම දැමිය යුතුයි කියන නීතිය ඉස්කෝලෙ දැම්ම කියලා.මේක කරන්න හේතුව වෙනම දෙයක් වුනත් නීතිය දාපු නිසා අපි පොතේ හැටියටම වැඩේ තදටම කරන්න ගත්තා.

වසන්ත මේ කාලෙ හිටියෙ 9 වසරෙ.අවුරුද්දෙ අග 10 වසරට කිට්‍ටුව.මේ මනුස්සයා හැමදාම එන්නෙ බාට දාගෙන.හැමදාම ඇහුවම කියන්නත් මිනිහට උත්තරක් තිබුනා.

"හරි හරි,එන්න පරක්කු වුනා.හෙට දාගෙන එන්නං"ඕක තමයි මිනිහගෙ උත්තරේ.

දවසක් උදේ වසන්ත ඔය විදියමට සෙරෙප්පු දාගෙන ඉස්කෝලෙ පිටිපස්සෙ ගේට්‍ටුවෙන් ඇතුලට එනවා මම දැක්ක.

"මොකද තමුසෙ හොර පාරෙන්"

"නැ අයියෙ ,මේ පාර ගෙදරට ළඟයි.ඒකයි මෙහෙන් එන්නෙ"වසන්ත උත්තර දුන්න.

"මොකද සෙරෙප්පු.ඕවා බෑ.ගලෝනව ගලෝනවා."අපි අවවාද කලාට මීට කලින් මිනිහගෙ සෙරෙප්පු ගලවල තිබුනෙ නෑ.

"ගලවන්න බෑ.ඇයි මොනා කරන්නද?"

මිනිහා කට්ටිය ඉස්සරහ දාපු සද්දෙ අපිටත් ඔරොත්තු දුන්නෙ නෑ

"ගලෝපිය ඩෝ සෙරෙප්පු දෙක"මාත් එක්ක හිටපු අනිත් ශිෂ්‍ය නායකයොත් මේකට පටලවෙද්දි වසන්ත සෙරෙප්පු දෙක ගැලෙව්වා.සද්දෙ දාල සෙරෙප්පු දෙක ගලව ගත්තු අපි

"ෆ්‍රින්සිපල්ට කියලම ගනින්"
කියලා ආවෙ මේකා අපිට ලොකුකම පෙන්නන්න ආව හින්දා.එදා හවස වසන්ත සෙරෙප්පු දෙක ආපහු ගන්න ආවෙ නෑ.

පහුවදත් අපි වසන්තලගෙ පන්ති පැත්තෙ ගියා.ඒත් මිනිහා ඇවිත් හිටියෙ නෑ.එදාට දවස් දෙක තුනකට පස්සෙ මමත් තව යාලුවෙකුත් ඉස්කෝලෙ හවස තිබුණ පන්තියකටත් ඉඳලා පයින්ම පාර දිගේ ආපහු එනවා.

දන්න කියන මූණක් පාර අයිනෙ තිබුණ ලොකු වත්තක උදළු ගානවා.

"වසන්ත"

"අයියෙ.අද හවස් වෙලා වගෙ" වසන්තම අපිව දැකල කථා කලා.

"ඔව්.මොකද මෙහේ.මෙහෙද ඉන්නෙ"

"නැ අයියෙ.හවසට මෙහේ කුලියට වැඩ කරනවා"මගෙ පපුව හීතල කරන් කඩා වැටෙනව වගේ දැනුනෙ මේ වෙලාවෙ.පොත් වල කියවල තිබුනට 9 වසරෙ ළමයෙක් කුලියට ගේක වැඩ කරනවා කියලා ඇත්ත ලෝකෙදි මම දැන ගෙන හිටියෙ නෑ.

"ඒ ඇයි?.තාත්තා මොකද කරන්නෙ"

තාත්තා නෑ අයියෙ,අම්ම ඉස්කෝලෙ එහා පැත්තෙ උළු මෝලෙ වැඩ කරන්නෙ.ඒක අපිට මදි.සපත්තු දෙකක් ගන්නත් සල්ලි නැතුව හිටියෙ අයියෙ"

එවෙලෙ පුලුවන්කමක් තිබුනනම් සපත්තු දෙකක් කොහෙන් හරි ගෙනත් දෙන්න තරම් හැඟීමක් ආවත් ඒ කාලෙ අපිට වුනත් එහෙම පුළුවන්කමක් තිබුනෙ නෑ.

"එදා ළමයි ඉස්සරහ ඕගොල්ලො කෑ ගැහුවම මට ලැජ්ජ හිතුනා අයියෙ,ඒකයි මාත් එහෙම කථා කලේ.ලබන සතියෙ සපත්තු දාගෙනම එන්නම්"

"සපත්තු ඕන නෑ .උඹ වරෙන්"උගුරෙන් නිකන්ම මගේ වචන පිට වෙන්න ඇති.

පහුවදා මම අපේ විනය භාර සර් හම්බ වෙලා මේ කථාව කිව්ව.

"කවුද ඕගොල්ලන්ට සෙරෙප්පු ගලවන්න කිව්වෙ.ළමයි බය කරන්න එහෙම කිව්වට ,මිනිස්සුන්ගෙ බැරි අමාරුකම් දැනගෙනයි අපි වැඩ කරන්න ඕනෙ.සර් අපිට කීවෙ එහෙම.

පුදුමාකාර දුකක් හිතට දැනුන මේ සිද්දියෙන් පස්සෙ මම  විනය රකින්න කාටවත් ඔය වගේ මෝඩ දේවල් කරන්න ගියෙ නෑ.

අවුරුදු ගානකට පස්සෙ වසන්ත ආයෙත් දවසක පිටකො‍ටුවෙදි මටහම්බ වුනා.හමුදා ඇඳුම ඇඳලා දිලිසෙන්න සපත්තු මැදලා වසන්ත මගෙ ඉස්සරහ හිටියා.

"ඒ ලෙවල් කලේ නෑ අයියෙ.ගෙදරටත් අමාරුයි.මම ආමි එකට ගියා.දැන් හොඳයි"..මේ යුද්ධෙ තදටම ඇවිලෙන කාලෙ දවසක්.

එදා ආයෙත් පසු තැවීම මගෙ හිතට ආවා.මෙහෙම වෙන්න මාත් හේතුවක්ද කියලා,

නෑ වසන්ත මැරුනෙ නෑ.ගිය සතියෙ වසන්ත මල්ලිව දැකපු වෙලෙ මට පුදුම සතුටක් දැනුනෙ.මිනිහා යුද්ධෙන් නැතිවුනේ නෑ..නෑ ,ආයෙ නම් මම එහෙම වැඩ කරන්නෙ නෑ.ඒත් තාමත් මට අර විශාල වත්තෙ උදළු ගාපු කොල්ලව මැවිලා පේනවා

Tuesday, June 12, 2012

කාල යාත්‍රාව


ජීවිතේ හුඟක් වෙලාවට අපිට කියවෙන වචනයක් තමයි "අනේ එහෙම නොවුනනන්"කියන එක.අපිට වැරදුන තැන්,වරද්ද ගත්ත තැන් වගේම එක විශේෂ කාලයක ලබපු සුන්දර අත්දැකීම් දිගටම විඳින්න පුලුවන්නම් කියලා වෙලාවකට හිතෙනවා.ඒත් කාලය කියන දේ නවත්වන්න බෑනේ.අපිත් එක්ක ඉන්න අය හැමදාම ඉන්නෙත් නෑනෙ.

අපිට බැරිද මේ වෙලාව ගත වෙන එක නවත්වන්න.එහෙම නැතිනම් අපිට උවමනා අතීත කාලයට හරි ගිහින් ජීවත් වෙන්න.

හුඟ දෙනෙක් කැමති වෙයි.ඉස්කෝලෙ කාලෙ ගුටි කාපුවා හරි ගස්ස ගන්න,අපත ගහපු විභාග වලට පාඩම් කරලා හොඳ රිසල්ට් එකක් දාගන්න විතරක් නෙවෙයි අහලා බෑ කියපු කෙල්ලන්ගෙන් අහපුවා කැන්සල් කර ගන්නත් මම නම් හරිම කැමතියි.

ඒත් කොහොමද මේක කරන්නෙ.

කාලය හරහා ගමන් කිරීම කියන සංකල්පෙ ගැන මම මුලින්ම දැනගත්තෙ පුංචි කාලෙ විදුසර පත්තරේ ගිය විද්‍යා ප්‍රබන්ධයක් කියවලා.කාලයක් තිස්සෙ හිතේ වැලලිලා තිබිලා පස්සෙ කාලෙක පොත් පත්තර, බලපු චිත්‍රපට හරහා මේ ගැන හොයන ආසාව වැඩි වුනා.

උසස් පෙළට භෞතික විද්‍යාව කරපු අයනම් දන්නවා ඇති ඒකක හා මාන කියලා මුලින්ම උගන්වන පාඩම.අපි මාන ගැන කථා කලත් කාලය කියන මානය ගැන වැඩිය කථා කරන්නෙ නෑ.ඒ ඒක ටිකක් සංකීර්ණ වගේම සාපේක්ෂ දෙයක් නිසා.

සාපේක්ෂ........?

ඒ කිව්වෙ මෙහෙමයි.අපි ජීවත් වෙන පෘතුවිය තමන් වටේට කැරකෙනවා කියලා අපිට පේන්නේ නෑ.(ඒත් අපි දන්නවා එහෙම වෙනවා කියලා.ඉස්සර මිනිස්සු එහෙම හිතුවෙ නෑ.හුඟක් පුංචි කාලෙ අපි වුනත් හිතුවෙ ඉර තමා අපිට උඩින් පායලා බැහැලා යන්නෙ කියලා.පුංචි කාලෙ නම් අපි හවසට ත්‍රිකුනාමලෙ මුහුදු වෙරලෙ හිටියත් ඉර බහින හැටි බලන්නනෙ දඟලන්නෙ).

ඊළඟට පෘතුවිය සූර්යා වටෙ කැරකෙනවා.සෞරග්‍රහ මණ්ඩලය,මන්දාකිනිය මේ හැම දෙයක්ම මේ වගෙ නොනවතින ගමනක යෙදිලා හිටියත් අපේ පියවි ඇසට ඒක දැනෙන්නෙ නෑ.

ඒ වගෙ පුංචියට හිටපු අපි ලොකු මිනිස්සු වෙලා ,වයසට ගිහින් මැරිලා ගියත් ඒ සිද්ධි දාමය මිසක් කාලය ගතවෙනවා කියන දේ අපිට පේන්නෙ නෑ.

ඉතින් අපිට බැරිද අතීතයට යන්න.එහෙම නම් අපිට ඕන නම් පුලුවන් බුදුන් උපන් කාලයට ගිහින් බණ අහන්න.නැතිනම් ජේසුස් වහන්සෙ දකින්න.තවත් විදියකින් අනාගතයට යන්න පුලුවන්නම් අපිට පුලුවන් 2012 ඇත්තටම ලෝක විනාසයක් වෙනවද කියල බලන්න.තමන්ට වෙන්න තියන හදිසි අනතුරක් වලක්ව ගන්න.

 H G වේල්ස් කියන කතුවරය ලියපු The Time Machine කියන පොතේ කාල තරණය ගැන අදහසක් පල කරලා තියනවා.හැබැයි ඒ කාලය හරහා ගමන් කරන්න පුලුවන් යන්ත්‍රයක් පාවිච්චි කරලා අතීතයට අනාගතයට ගමන් කරන්න.

යන්ත්‍රයක් පාවිච්චි කරලා මේ ගමන යන හැටි ගැන කථා කලොත් අපිට ඒ වගෙ ගමනක් තියා අල්ලපු වැටේ ඉන්න අගහරුටවත් තාම යා ගන්න බැරුවනෙ ඉන්නෙ.ගොඩක් පිට චක්‍රාවාට වලට යාම ගැන කථා කරද්දි විද්‍යාඥයො ආලෝක වර්ෂවලින් තමා දුර කථා කරන්නෙ.ආලෝකයේ වේගයෙන් ගමන් කරනවනම් කෙනෙක්ගෙ වයස යන්නෙ නෑ කියලා කථාවක් ඉස්සර මං අහලා තියනවා. 2001 ආව Planet of the Apes කියන චිත්‍රපටය බලල තියනවනම් මේ ගැන අදහසක් ගන්න පුලුවන්.කාල අන්ත්‍ර හරහා ගමන් කරද්දි අධිල වේගයක් පාවිච්චි කරන නිසා සාපේක්ෂව අනිත් අය එක්ක අපේ ජීවිතේ එක තැන නතර වෙලා තියනව  වගේ අදහසක් තමයි මේ කියන්නෙ.

ඊළඟට අපිට ඇත්තටම ආළෝකයේ වේගයෙන් ගමන් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නෙ එනවා.
අයින්ස්ටයින් කියන මහා භෞතික විද්‍යාඥයා ඉදිරිපත් කරපු ශක්ති සංස්තිති නියමයට (E=MC^2)අනුව  E=MC^2කියන සමීකරණය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙනවනම් (හිරොෂිමා,නාගසාකි වලදි නම් වුනා මයෙ හිතේ)

යම් වස්තුවක වේගය ආලෝකයේ වේගයට සමාන වෙද්දී ස්කන්ධය බිංදුවට ගමන් කරනවා.එහෙම වෙලාවක අපි දැනට ලෝකයේ භාවිතා කරන මූල ද්‍රව්‍ය භාවිතා කරලා මේ වගේ යන්ත්‍රයක් හදාගන්න පුලුවන්ද කියන එක ගැටලුවක්.මෙතන  E කියන්නෙ ශක්තිය, Mකියන්නෙ ස්කන්ධය ,C කියන්නෙ ආලෝකයේ වේගය.

තවත් ක්‍රමයක් තියනවා.ඒ ගැන කථාකරන්නෙ භාවනාක්‍රම වලදි.මට හිතෙනවා ව්‍යවහාරික විද්‍යාවට වඩා මෙතනදි බුද්ධාගමේ කථා කරන භාවනා ක්‍රම ඉදිරියෙන් ඉන්නවා කියලා.භාවනා ක්‍රම කියන්නෙ බුද්ධාගමට සීමා වුනු දෙයක් කියලා හිතන එපා.මං කිව්වෙ ලංකාව පැත්තෙන්.

ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා නිර්මාණය කරපු අකාල සන්ධ්‍යා කියන නාට්‍යයේ මේ කියන භාවනා ක්‍රම භාවිතා කරලා කුණ්ඩලීනි යෝගය භාවිතයෙන් කාලය හරහා ගමන් කිරීමක් ගැන කියනවා.එතැනදි භෞතික ශරීරය ගමන් කිරීමක් ගැන කථා කලත් ඇත්තටම කුණ්ඩලිනියෙදි වෙන්නෙ මනෝ කාය එහෙමත් නැත්නම් Astral Body එක කාලය හරහා යැවීමක්.

ඊළගට අපි මේ මොන ක්‍රමයෙන්වත් කාල තරණය කරන්න බෑ කියලා තියන තර්ක ගැනත් බලමු.
හිතන්න මගේ හත් මුතු පරම්පරාවෙ (පලවෙනිය කියමුකො) ආච්චි හරිම වසයි.ආච්චිගෙ නපුරුකම් වලට ඹූණ දෙන්න මට කාලය හරහා ගමන් කරලා අතීතයට ගිය වෙලාවක සිධ්ධ වෙනවා.මම ආච්චි විවාහවෙන්න කලින් යුගයට කාලය හරහා ගිහින් ආච්චිව මරලා දානවා.හරි ආච්චි මළා.දැන් ආච්චි විවාහවෙන්නෙවත් ආච්චිට ළමයි හම්බ වෙන්නෙවත් නෑ.එහෙම ළමයි හම්බ වෙන්නෙ නැත්නම් කොහොමද ආච්චිට වඩා අනාගත යුගයක ඉන්න මම බිහිවෙන්නෙ.

ටිකක් පිස්සුයි වගේ නේද?නිකමට ලිව්වෙ.

මේක ලියාගෙන යද්දි මගෙ උසස්පෙල පලමු වර කරද්දි හිටපු යාළුවෙක් මතක් වුනා.අද ඉංජිනේරුවෙක්.හැම දෙයක් ගැනම බරපතල විදියට හිතන හින්දා දෙපාරක්ම විභාගෙ ඇන්නා.මිනිහගෙන් අපිට ඉන්නත් නෑ ඒ දවස්වල.අපි මිනිහට කිව්වෙ "යකෝ අර ඇපල් ගෙඩිය වැ‍ටුනු වෙලාවෙ නිව්ටන් ඔලුව පැලිලා මළා නම් අද උඹ විතරක් නෙවෙයි අපි ඔක්කොම සැනසිල්ලෙ ඉන්නවා" කියලා .ඒ කථාව නම් බොරු මොකද ඒ අපල් ගෙඩිය වැ‍ටුන හින්දා ලෝකෙ ගැන මිනිස්සු හිතාගෙන හිටිය ගොඩක් දේවල් වෙනස් වුන හින්දා.
කුණ්ඩලිණිය ගැන තව කථා කරන්න ඕන වුනත් ලිපිය දිග වැඩි වුනා වගේ. ඒ හින්දා කුණ්ඩලිණිය  ගැන ආයෙ වෙන දවසක කථා කරමු.

Friday, June 8, 2012

කුලවන්තයාගේ ප්‍රේමය-2


  


                                   


සති දෙකක් විතර මේ දෙන්නගෙ ආදරය හරිම සුන්දර විදියට ගලාගෙන ගියා.සාලිය සෑහෙන කාලයක් හිතේ තියාගෙන කියාගන්න බැරිව හිටිය හැම දෙයක් ම චමරිට කියන්න ඇති.ඒ හිතේ චමරි වෙනුවෙන් මොන තරම් ආදරයක් පොදි ගැහිලා තිබුනද කියලා සාලියගෙ ළඟින් හිටපු අපි හොඳින්ම දැනගෙන හිටියා.
ඒත් ඒ ආදරය හින්දම සාලිය වෙනස් වුනා.ජීවිතේ මුල් වතාවට කෙල්ලෙක්ගෙ ආදරේ ලැබුනම ගොඩක් දේවල් අමතක වෙනවද මන්දා.විභාගෙ දවස එන්න එන්නම කිට්‍ටු වුනත් සාලිය විභාගෙ ගැන හිතුව බවක් පෙනුනෙ නෑ.අන්තිමේ කොහොම හරි සාලිය විභාගෙ ලිව්වා.
මම දිගටම ඉස්කෝලෙ ගියත් සාලිය ආයෙ ඉස්කෝලෙ ආවෙ නෑ.ඒත් චමරි මට නිතරම හම්බ වුනා.මාස දෙකකට විතර පස්සෙ දවසක උදේ චමරි මාව හොයාගෙන පන්තියට ආවා.

"මට මේක නවත්වන්න ඕන වර්ණ"
"ඇයි හදිසියෙම එහෙම තීරණයක් ගත්තෙ?"
චමරි බිම බලගෙන හෙමීට උත්තර ගැට ගැහුවා.

"මේවා හිතේ තියාගෙන මට ඉගන ගන්න බෑ"
"ඉතින් සාලියත් ඉගන ගන්නෙ"මම ඇහුවෙ මෙච්චර හොඳට දුවපු ලව් එකට එක පාරම මොකක්ද වුනේ කියලා හිතා ගන්න බැරුව.
"එයා කිව්වට එයාටත් විබාගෙ ෂුවර් එකක් නෑ කිව්වා"
"ඉතින් ඒකද නවත්තන්න හදන්නෙ"
"ඔව්,මට එහෙම කරන්න පුලුවන් තත්වයක් නෑ.මට ඩොක්ට කෙනෙක් වෙන්න ඕනෙ.මේවා තියාගෙන එහෙම තැනකට එන්න බෑ.අනෙක සාලිය අයියාගෙ ඒ තරම් ඉගන ගන්න ඕන කමකුත් නෑ"චමරි උත්තර දුන්නෙ හරියට සාලිය විබාගෙ ෆේල් වුනොත් ඒ වගෙ කෙනෙක් එක්ක සම්බන්ධයක් තියා ගන්න එයා කැමති නැති ගානට.
"ඔයා සාලියට කිව්වද?"මම ඇහුවා.
"නෑ.මට කියන්න බෑ.ඒකයි ඔයාට කියන්න ආවෙ."
"මට කියලා මොනා කරන්නද?"කෙල්ලන්ගෙ හිත වෙනස් වෙන ඉක්මන කියලා පුදුමාකාර කේන්තියකින් මම කතා කලේ.
"ඔයා කිව්වොත් අහයි.මම බෑ කිව්වා කියන්න"
කථාව එතනින් ඉවර වුනා.සාලියට මේක කිව්ව වෙලාවෙ මිනිහා හැසිරුනේ පිස්සෙක් වාගෙ.
"ඇයි බන් එයා බෑ කියන්නෙ.මට ආට් කරලා දොස්තර කෙනෙක් වෙන්න බෑනේ.එච්චරද රස්සාවල් තියෙන්නෙ."සාලිය එක එක විදියට කියවන්න ගත්තා.
"උඹ කියපන් එයාට ඉගන ගන්න මම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කියලා.ඕන නන් සල්ලිත් දෙන්නන් කියපන්.ඒත් අඩු ගානෙ මා එක්ක කථා කරන්න කියපන්"දවස් දෙකකට තුනකට පස්සෙ මාව හම්බ වුනු සාලිය කිව්වා.
කොච්චර උත්සාහ ගත්තත් සාලිය ඒ දවස් ටිකේම චමරි සාලියව අපූරුවට මග ඇරල තිබුනා.කෙල්ලො මොන තරම් චපලද කියන හැඟීම අපි හැමෝගෙම හිත්වලට ආවා.සාලිය හිටපු විදියට චමරි ඉන්න තැනකට ගිහින් ගහලා එන්න තරම් කේන්තියකින් අපි හිටියෙ.තවත් මාසෙකට පස්සෙ සාලියගෙ විභාගෙ ප්‍රථිපල ආවා.සාලිය අසමත් වෙලා තිබුනෙ නෑ.ඒත් යාන්තම් සාමර්ත හතරක් විතරයි අරගෙන තිබුනෙ.අපි පුදුම වුනා.ඒත් පාඩම කරනවා වෙනුවට කෙල්ලෙක් ගැන හින බල බල ඉඳලා සාලිය හැම දේම අවුල් කරගෙන.මුලු 13 වසරෙම දක්ෂම ළමය විදියට ගුරුවරුන්ගෙ හිත් දිනාගෙන හිටපු සාලිය ගෙදර නතර වෙද්දි ඊට පහලින් හිටිය අය සරසවි ගියා.
අන්තිමේ සාලිය අපිවත් මග අරින්න ගත්තා.
එක එක විදියට කලබලකාරී ජීවිතයකට හුරු වෙන්න වුනු මට ඊළඟ අවුරුදු තුනටම සාලිය ගැන අහන්න ලැබුනෙ එක දවසයි.ඒ එක දවසක්  සාලිය දොස්තර කෙනෙක් හම්බවෙන්න යන්න මාව හොයාගෙන ගෙදර ආවා කියල අම්ම කිව්වම.
ඒක මම ඒ තරම් ගණන් ගත්තෙ නැතත් දවසක් අහම්බෙන් මම සාලියව පාරෙදි දැක්කා.
කුණු පිරිච්ච ඇඳුමක් ඇඳන් ‍රැවුල වවාගෙන කඩයක් ළඟ වාඩි වෙලා හිටිය සාලියව දැක්ක වෙලාවෙ පුදුම හිතුනත් මම ලඟට ගිහින් කථා කලා.
"මොකෝ බන් මෙතන?"
සාලිය මාව අඳුනගෙන කළබලෙන් නැගිට්ටා.
"උඹට පිස්සුද තනියම ඇවිදින්නෙ.මන් උඹලගෙ ගෙදර අයටත් කිව්වා උඹට තනියම ඇවිදින්න යන්න දෙන්න එපා කියලා.උඹව මරන්න ඉන්නවා කියලා දන්නෙ නැද්ද?"
සාලිය කිව්ව කථාවට මම උඩ ගියා නෙවෙයි ,බය වුනා.
"මොකක්ද බන් ඒ හරුපෙ.කවුද මාව මරන්න ඉන්නෙ."
"එලියෙ ඉන්න බැ.වරෙන් කියන්න."
 සාලිය මාවත් ඇදගෙන කඩේට ගියා
."එකෙක් නෙවෙයි,දෙතුන් දෙනෙක්ම ඉන්නවා.පරිස්සම් වෙයන්."
මම බයවෙලා අහගෙන ඉඳිද්දි මේක දිහා බලාගෙන ඉඳපු වෙන කෙනෙක් මට කනට කරලා රහසක් කිව්වා.
"පොඩ්ඩක් මොලේ අප්සට්.ගණන් ගන්න එපා"
"පපුවට පිහියකින් ඇන්න වගේ ඒ කථාව ඇහෙද්දි හිත කීරි ගැහිලා ගියත්,මම දිගටම සාලිය කියන දේවල් අහගෙන හිටියා.
පොඩ්ඩක් සාලියව මග ඇරල මම ඒ කථාව කිව්ව අයියා ළඟට කිට්‍ටුවුනා.
"මක් වෙලාද මෙහෙම වෙලා තියෙන්නෙ."
"කෙල්ලෙක්ගෙ ප්‍රශ්නයක්ලු.අංගොඩත් හිටියා.තද පිස්සුවක් නැති හින්දා ඔහේ තැන් තැන් වල යනවා.උදේට ගෙදරින් එලියට බැස්සම ගම වටේම ගිහින් හවසට ගෙදර යනවා.දොස්තර පිස්සුවක් තියෙන්නෙ.අහල බලන්නකො.කෙල්ල දොස්තර කෙනෙක්ලු"
මට එක පාරටම මතක් වුනේ චමරිව.මරාගෙන මැරෙන්න තරම් කේන්තියක් හිතට ආවත් චමරි ඉන්නෙ කොහෙද කියලවත් අද වෙනකල් මම දන්නෙ නෑ.
ඒත් දවසක් චමරිගෙ යාලුවෙක් හම්බ වුනු වෙලාවක මේ කරපු බලු වැඩේ ගැන කියලා මම චමරිට හොඳටම බැන්න.
"දැන් අරකිට සනීප ඇති නේ?අර අහිංසකයව කෑවා.දැන් ඒකි දොස්තර වෙලාද?"

ඒත් ඒ වෙලාවෙ මං අහපු දේ නිසා මට අපේ සමහර ආකල්ප ගැන විතරක් නෙවේ.හොයන්නෙ බලන්නෙ නැතුව කථා කරපු මං ගැනත්කළ කිරුනා.
"එයා දොස්තර කෙනෙක් වුනේ නෑ.දැන් කරන්නෙ ටීචින්.අනෙක එයා සාලිය අයියව අත ඇරියෙ සාලිය අයියලගෙ ගෙදර කට්ටිය ගෙදරටම ගිහින් බැනල තිබුන හින්දා"
"ජාතකේ දන්නැති රදව්.තොපේ පරම්පරාවල් අපි දැක්කම කාණුවට බැහැපු උන්.‍තෝ හිතුවද කුමාරිහාමි කෙනෙක් වෙන්න.තොපේ පවුල පිටින් බාවනවා දැන ගනිව්."
සාලියලගෙ තාත්තා සද්ද නැතුව ඉඳලා චමරිලගෙ ගෙදරම බය කරල තිබුනා.ඒ කාලෙ සාලියලගෙ තාත්තට ඒක මහ ලොකු දේකුත් නෙවෙයි.
චමරි සේරම පව් තමන් පිට පටවගෙන සම්බන්දෙ නැවැත්තුවා.
ඒත් සාලිය හිටපු ගමන් තාමත් මට මෙහෙම කියනවා.
"අර දොස්තර නෝනට කියපන් හොඳ කෙනෙක් බැඳන් පවුල් කන්න කියලා.මං තරහා නෑ කියපන්"
කුල ගෝත්‍ර වගේ දේවල් මේ ලෝකෙ නැත්නම් ලෝකෙ මොන තරම් ලස්සන වෙයිද?

Thursday, June 7, 2012

කුලවන්තයාගේ ප්‍රේමය


මේ කතාව ලියන්න මම මේ කථාවෙ අයිතිකාරයගෙන් අවසර ගත්තෙ නම් නෑ.ඒ එහෙම ගන්න පුලුවන්කමක් නොතිබුන හින්දා.ඒත් කථාව ලියන්නම ඕනෙ කියලා හිතුන හින්දා ලියලා දානවා.වෙන දෙයක් පස්සට.
අපේ රටේ විතරක් නෙවෙයි.කුල ක්‍රමය කියන්නෙ අපේ අල්ලපු රටෙත් හොඳටම මුල් බැහැපු සංකල්පයක්.අපේ රටේ දැන් ටිකක් අඩු වුනත් උඩරට පැත්තට එහෙම නැත්නම් උතුරුකරේ දිහාට යද්දි මේ කුල ගෝත්‍ර ප්‍රශ්න තාමත් මිනිස්සු අතර  තියනවා.අපි පොඩි කාලෙ සමහර වෙලාවට මට මතකයි තාත්තා සමහර ගෙවල්වලට යන්න,සමහර අය ආශ්‍රය කරන්න පවා වැට බැඳලා තිබුනා කුල කතන්දර උඩ.පස්සෙ අපි කරදඬු උස ගිහින් මේ බැඳීම් ගණන් නොගෙන ඉඳිදිදි ඒ අයත් ඉබේම ඒවා අත ඇරල දැම්මා.

මිහිඳු හාමුදුරුවො බුද්ධාගම ලංකාවට අරගෙන එද්දි ශ්‍රේණි දහ අටක් ඒ කියන්නෙ ශිල්ප දහ අටකට අයිති මිනිස්සුත් ලංකාවට ආවය කියනවනෙ.මුල් කාලෙ රස්සාව මත පදනම් වෙලා ඇතිවුනු ලංකාවෙ කුල ක්‍රමය පස්සෙ විදේශ ආක්‍රමණත් එක්ක හින්දු වේදවලත්, හින්දු සමාජයෙත් තිබුන කුල ක්‍රමය එක්ක මිශ්‍ර වුනා.පස්සෙ පස්සෙ එක එක වෙනස්කම් වලට ලක් වෙලා අන්තිමේ දු‍ටු ගැමුණු රජතුමාගෙ පුතාට රොඩී කුලයෙ අශෝකමාලගෙ හබය හින්දා රජකමත් නැති වුනා.කොහොම නමුත් කුල ක්‍රමය,වහල් ක්‍රමය වගේ දේවල් නිසා හැමදාම මනුස්සකම කියන එකට වුනේ හානියක්.කෙනෙක්ට ‍තෝර ගැනීමක් කරන්න පුලුවන්නම් අඩු කියලා සම්මත කුලයක කැමැත්තෙන් උපදින්නෙ නෑනෙ කොහොමටවත්....දැන් කථාව.

සාලිය.අපි එහෙම කියමු.මාත් එක්ක එකට ඉස්කෝලෙ ගිය කොල්ලෙක්.හැබැයි අවුරුදු තුනක් විතර වැඩිමල්.තාත්තලට ටිකක් සල්ලිත් තිබුනා.අපිට වැඩියෙන්.අපි ඉගන ගත්තෙ තරගෙට.වයසින් වැඩි හින්දා මිනිහගෙ ප්‍රතිපල බලාගෙන ඊට වඩා ගන්න මම දැඟලුවා.මම ඕ ලෙවල් සංගීත පන්තියෙන් දොට්ට දැම්මට පස්සෙ මාස හයකින් චිත්‍ර උගන්නලා සී එකක් අරන් මට ගොඩ යන්න උදව් කලේ සාලිය.

කොච්චර උනන්දුවකින් ඉගන ගත්තත් සාලියටත් මල්සරා ඊතලයකින් දමලා ගැහුවා.ඒ මිනිහා උසස් පෙල අන්තිම අවුරුද්දෙ ඉන්න කාලෙ.කෙල්ල මට වඩා එක පන්තියක් පහල.ඉගනගන්න උනන්දු උන්ට ඕවා ඔලුවට ගැහුවම ටිකක් අමුතුයි වගේනෙ.අනිත් උන් බය නැතුව කියලා දැම්මට සාලියට මේක කෙල්ලට කියාගන්නත් ලේසි වුනේ නෑ.


චමරී


සාලියගෙ හිත දිනා ගත්ත කෙල්ල ඒ හැටි ලස්සනක් තිබුණ කෙල්ලෙක් නම් නෙවෙයි.හැබැයි ඉගන ගන්න දක්ෂ හින්දත්,විවාද කණ්ඩායමේ තැනක් තියාගෙන හිටිය හින්දත් චමරි ගැන මුළු ඉස්කෝලෙම දැනගෙන හිටියා.
ඉස්කෝලෙ කෙනෙක් මේක බැලුවොත් මතක් වෙයි කවුද කියලා.
අන්තිමේ අහන කොන්ත්‍රාත්තුව පැටවුනේ මට.
මට හොඳටම සුපුරුදු විදියට කෙල්ල කැමති වුනේ නෑ.
ඒත් සාලියත් අත ඇරියෙ නෑ.දවල් තිස්සෙ ලෑලි කඩවලින් පාන් බනිස් කකා,ඉස්කෝලෙ ඇරුනට පස්සෙ සේරම වැඩ පැත්තක තියලා මාත් ඌ එක්ක චමරි පස්සෙන් යන්න ගත්තා..ඒ අතර රහස් පරික්ෂක වැඩත් කරන්න වෙනවනෙ.
බොහෝම අමාරුවෙන් වටේ පිටේ උන්ට නොවඳිනා වැදුම් වැඳලා අපි කෙල්ලගෙ උප්පැන්න සහතිකේ ඉඳලා ඕනෙ කරන හැම විස්තරයක්ම සාලියට හොයලා දුන්න.මේක ඒ කාලෙ ඇත්තටම අපිට ත්‍රිල් එකක්.
හැබැයි ඒ විස්තරවල පුංචි පරහක් තිබුණා.ඒ චමරි කුලෙන් අඩු කෙනෙක් වීම.සාලියගෙ හිතේ තිබුණ ඒක පුද්ගල ආදරේ හැටියට මේක ඒ තරම් දෙයක් හැටියට මේක ඒ තරම් දෙයක් නොවුනත් උන්ගේ ගෙදර අයගෙ හැටි දන්න අපිට නම් ඒකත් ප්‍රශ්නයක් වුනා.ඒ මදිවට කෙල්ලගෙ තාත්තා පොලේ කරවල විකුණනවා.ගමේ සල්ලිකාරයො විදියට ගමටම ‍රැස් විහිදුවා ගෙන හිටපු සාලියගෙ තාත්තට නම් මේ හුටපටේ කීයටවත් දිරවන්නෙ නැති බව අපි අනන්තවත් කියලා  ඇති.
කොහොම හරි කෙල්ල හා කියන්නත් කලින්ම මේ යකාගෙ පූජනීය ආදරේ ගැන ගෙදර අයට දැනුනෙ පිස්සා වගේ මූ ඒ ගැනම කල්පනා කරන්නත් කියවන්නත් ගත්ත හින්දා.කෙල්ලත් ගණන් උස්ස උස්ස මාස ගාණක් ගියා.
මේ අතර සාලියගෙ ගෙදර අයත් මේ ගැන හොයලා බලලා තිබුණා.කොහොම හරි සාලියගෙ උසස්පෙළ විභාගෙට මාසෙකට විතර කලින් දවසක චමරි මට ලියුමක් ගෙනත් දුන්නා.
සාලියගෙ ආදරේ පල දරලා.චමරී සාලියට ආදරෙයි කියලා ඒ ලියුමෙ ලියලා තිබුණා,සාලියට ලෝකයක් ලැබුණා වගේ දැනෙන්න ඇති,ඒ සතුට මම උගෙ ඇස් දෙකේ දැක්කා.
ඉඩ මදි වගේ.ඊ ළග කොටසට යන්නම්.............

Wednesday, June 6, 2012

පුදපු ගමන්

මම වෙන බ්ලොග් වලට හුඟක් දේවල් ලියලා තිබුනත්,මගේම බ්ලොග් එකකට ලියන පළමුවෙනි ලිපිය.මම හුඟක් ලිව්වෙ කොටස් වෙළඳ පොළ ගැන.ඒ ගැනත් ආයෙ මෙතනදි කථා කරනවා.හැබැයි මම මේක පටන් ගත්තෙ නම් ඒ වගේ එක පැත්තකට සීම වුනු දේවල් විතරක් කථා කරන කොට මටම එපා වෙන හින්දා.අනෙක මම මෙච්චර කල් ඇනෝ කෙනෙක්.අද මම මීට මාසෙකට කලින් ඔය ඇනෝ කථාව අත ඇරලා දැම්මා.
මම සිංහල.ඒ උපන් හැටි.ඒත් මට ජාතිවාදී උණ නෑ.ඕන කෙනෙක් ඕන වෙලාවක කථා කලොත් මට ජාතිය ජම්මෙ වැඩක් නෑ.
මේ දවස් වල මුණු පොත පිරෙන්නම සිංහලයො වැහි වැහැලා.යුද්ධෙ කාලෙ උන් හිටි තැනක් හොයා ගන්න බැරුව හිටි පොරවල් අද මූණු පොතේ යුද්ධ කරනවා.දෙමෙල්ලු මරන්න.මුස්ලිම් අය හම ගහන්න කථා කරනවා.
අපේ ඉඩ කඩම් මුස්ලිම් අය කොල්ල කාලලු.අපේ ගෑනුන් බිලි ගන්නවළු.අපේ උන් ළමයි නොහද ඉන්න අතරෙ උන් ළමයි හදනවලු.
ඇත්ත.ඒත් කවුද ඒ අයට ඉඩම් විකුණන්නෙ.සිංහලයො.කවුද ඒ අය එක්ක යන්නෙ.අපේ සිංහල කෙල්ලො.කවුද ළමයි නොහද ඉන්නෙ.අපේ සිංහලයො.කාගෙද වැ‍රැද්ද?
අපි අපේ වැරදි හදා ගන්නවද?හැමදාම අනුන්ට බැන බැන අපේ වල අපිම කපා ගන්නවද කියල හිතන්න කාලෙ ඇවිත්.මිනිස්සු කවුරුත් එකයි.උපදිද්දි කවුරුවත් තමන් මොන ජාතියෙද කියලා දැනගෙන උපදින්නෙ නෑ.අපිට තව කාලෙකට හඳට එකෙක් යවන්න බැරි උනත්,කාලෙකට මිසයිලයක් හදලා ඇමරිකාවට පස්ස දික් කරන්න බැරි වුනත් එක ජාතියක් විදියට හිතුවොත් අපිට ණය නැතුව ජීවත් වෙන්න පුළුවන් රටක් හදා ගන්න පුලුවන් වෙයි.මේ බ්ලොග් එක මම ලියන්නෙ බලන්න කියලා ආරාධනා කරන්නෙ මනුස්සකමේ සුවඳ අඳුරන හැමොටමයි.අනන්තයට විසිරුණු සිතුවිලි මීට පස්සෙ දිගටම මෙතන ලියවෙයි.ආයෙත් හමුවෙමු.