ආයුබෝං

බලන්න ආවට බොහෝම සතු‍ටුයි.එහෙම නම් කියවලා මයෙ හිත හැදෙන්නත් එක්කලා කමෙන්‍ටුවකුත් දාලම යන්නකෝ.නැතත් තරහක් නම් නෑ.ආව එකම මදැයි.

Thursday, June 7, 2012

කුලවන්තයාගේ ප්‍රේමය


මේ කතාව ලියන්න මම මේ කථාවෙ අයිතිකාරයගෙන් අවසර ගත්තෙ නම් නෑ.ඒ එහෙම ගන්න පුලුවන්කමක් නොතිබුන හින්දා.ඒත් කථාව ලියන්නම ඕනෙ කියලා හිතුන හින්දා ලියලා දානවා.වෙන දෙයක් පස්සට.
අපේ රටේ විතරක් නෙවෙයි.කුල ක්‍රමය කියන්නෙ අපේ අල්ලපු රටෙත් හොඳටම මුල් බැහැපු සංකල්පයක්.අපේ රටේ දැන් ටිකක් අඩු වුනත් උඩරට පැත්තට එහෙම නැත්නම් උතුරුකරේ දිහාට යද්දි මේ කුල ගෝත්‍ර ප්‍රශ්න තාමත් මිනිස්සු අතර  තියනවා.අපි පොඩි කාලෙ සමහර වෙලාවට මට මතකයි තාත්තා සමහර ගෙවල්වලට යන්න,සමහර අය ආශ්‍රය කරන්න පවා වැට බැඳලා තිබුනා කුල කතන්දර උඩ.පස්සෙ අපි කරදඬු උස ගිහින් මේ බැඳීම් ගණන් නොගෙන ඉඳිදිදි ඒ අයත් ඉබේම ඒවා අත ඇරල දැම්මා.

මිහිඳු හාමුදුරුවො බුද්ධාගම ලංකාවට අරගෙන එද්දි ශ්‍රේණි දහ අටක් ඒ කියන්නෙ ශිල්ප දහ අටකට අයිති මිනිස්සුත් ලංකාවට ආවය කියනවනෙ.මුල් කාලෙ රස්සාව මත පදනම් වෙලා ඇතිවුනු ලංකාවෙ කුල ක්‍රමය පස්සෙ විදේශ ආක්‍රමණත් එක්ක හින්දු වේදවලත්, හින්දු සමාජයෙත් තිබුන කුල ක්‍රමය එක්ක මිශ්‍ර වුනා.පස්සෙ පස්සෙ එක එක වෙනස්කම් වලට ලක් වෙලා අන්තිමේ දු‍ටු ගැමුණු රජතුමාගෙ පුතාට රොඩී කුලයෙ අශෝකමාලගෙ හබය හින්දා රජකමත් නැති වුනා.කොහොම නමුත් කුල ක්‍රමය,වහල් ක්‍රමය වගේ දේවල් නිසා හැමදාම මනුස්සකම කියන එකට වුනේ හානියක්.කෙනෙක්ට ‍තෝර ගැනීමක් කරන්න පුලුවන්නම් අඩු කියලා සම්මත කුලයක කැමැත්තෙන් උපදින්නෙ නෑනෙ කොහොමටවත්....දැන් කථාව.

සාලිය.අපි එහෙම කියමු.මාත් එක්ක එකට ඉස්කෝලෙ ගිය කොල්ලෙක්.හැබැයි අවුරුදු තුනක් විතර වැඩිමල්.තාත්තලට ටිකක් සල්ලිත් තිබුනා.අපිට වැඩියෙන්.අපි ඉගන ගත්තෙ තරගෙට.වයසින් වැඩි හින්දා මිනිහගෙ ප්‍රතිපල බලාගෙන ඊට වඩා ගන්න මම දැඟලුවා.මම ඕ ලෙවල් සංගීත පන්තියෙන් දොට්ට දැම්මට පස්සෙ මාස හයකින් චිත්‍ර උගන්නලා සී එකක් අරන් මට ගොඩ යන්න උදව් කලේ සාලිය.

කොච්චර උනන්දුවකින් ඉගන ගත්තත් සාලියටත් මල්සරා ඊතලයකින් දමලා ගැහුවා.ඒ මිනිහා උසස් පෙල අන්තිම අවුරුද්දෙ ඉන්න කාලෙ.කෙල්ල මට වඩා එක පන්තියක් පහල.ඉගනගන්න උනන්දු උන්ට ඕවා ඔලුවට ගැහුවම ටිකක් අමුතුයි වගේනෙ.අනිත් උන් බය නැතුව කියලා දැම්මට සාලියට මේක කෙල්ලට කියාගන්නත් ලේසි වුනේ නෑ.


චමරී


සාලියගෙ හිත දිනා ගත්ත කෙල්ල ඒ හැටි ලස්සනක් තිබුණ කෙල්ලෙක් නම් නෙවෙයි.හැබැයි ඉගන ගන්න දක්ෂ හින්දත්,විවාද කණ්ඩායමේ තැනක් තියාගෙන හිටිය හින්දත් චමරි ගැන මුළු ඉස්කෝලෙම දැනගෙන හිටියා.
ඉස්කෝලෙ කෙනෙක් මේක බැලුවොත් මතක් වෙයි කවුද කියලා.
අන්තිමේ අහන කොන්ත්‍රාත්තුව පැටවුනේ මට.
මට හොඳටම සුපුරුදු විදියට කෙල්ල කැමති වුනේ නෑ.
ඒත් සාලියත් අත ඇරියෙ නෑ.දවල් තිස්සෙ ලෑලි කඩවලින් පාන් බනිස් කකා,ඉස්කෝලෙ ඇරුනට පස්සෙ සේරම වැඩ පැත්තක තියලා මාත් ඌ එක්ක චමරි පස්සෙන් යන්න ගත්තා..ඒ අතර රහස් පරික්ෂක වැඩත් කරන්න වෙනවනෙ.
බොහෝම අමාරුවෙන් වටේ පිටේ උන්ට නොවඳිනා වැදුම් වැඳලා අපි කෙල්ලගෙ උප්පැන්න සහතිකේ ඉඳලා ඕනෙ කරන හැම විස්තරයක්ම සාලියට හොයලා දුන්න.මේක ඒ කාලෙ ඇත්තටම අපිට ත්‍රිල් එකක්.
හැබැයි ඒ විස්තරවල පුංචි පරහක් තිබුණා.ඒ චමරි කුලෙන් අඩු කෙනෙක් වීම.සාලියගෙ හිතේ තිබුණ ඒක පුද්ගල ආදරේ හැටියට මේක ඒ තරම් දෙයක් හැටියට මේක ඒ තරම් දෙයක් නොවුනත් උන්ගේ ගෙදර අයගෙ හැටි දන්න අපිට නම් ඒකත් ප්‍රශ්නයක් වුනා.ඒ මදිවට කෙල්ලගෙ තාත්තා පොලේ කරවල විකුණනවා.ගමේ සල්ලිකාරයො විදියට ගමටම ‍රැස් විහිදුවා ගෙන හිටපු සාලියගෙ තාත්තට නම් මේ හුටපටේ කීයටවත් දිරවන්නෙ නැති බව අපි අනන්තවත් කියලා  ඇති.
කොහොම හරි කෙල්ල හා කියන්නත් කලින්ම මේ යකාගෙ පූජනීය ආදරේ ගැන ගෙදර අයට දැනුනෙ පිස්සා වගේ මූ ඒ ගැනම කල්පනා කරන්නත් කියවන්නත් ගත්ත හින්දා.කෙල්ලත් ගණන් උස්ස උස්ස මාස ගාණක් ගියා.
මේ අතර සාලියගෙ ගෙදර අයත් මේ ගැන හොයලා බලලා තිබුණා.කොහොම හරි සාලියගෙ උසස්පෙළ විභාගෙට මාසෙකට විතර කලින් දවසක චමරි මට ලියුමක් ගෙනත් දුන්නා.
සාලියගෙ ආදරේ පල දරලා.චමරී සාලියට ආදරෙයි කියලා ඒ ලියුමෙ ලියලා තිබුණා,සාලියට ලෝකයක් ලැබුණා වගේ දැනෙන්න ඇති,ඒ සතුට මම උගෙ ඇස් දෙකේ දැක්කා.
ඉඩ මදි වගේ.ඊ ළග කොටසට යන්නම්.............

6 comments:

  1. කුල ක්‍රමය දෙමළ අය අතර තදටම තියනවා මම දන්න විදියට. අපේ කැම්පස් එකේ දෙමළ ළමයි යාළුවො ආශ්‍රය කලෙත් කුලේ බලලා. සිංහල අය එක්කනම් වෙනසක් නැතුව හිටියා. අපේ අය අතරනම් දැන් මේක බලන්නේ විවාහයේදී විතරයි ගොඩක් දුරට.

    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරානම් හොඳයි නේද?:)

    ReplyDelete
    Replies
    1. පළවෙනි කමෙන්ට් එක.ඇත්ත. කුල ක්රරමේ හින්දා එක සැරයක් අමාරු ලෙඩෙක්ව ඉස්පිරිතාලෙකට ගෙනියන්න බැරි වුනු සිද්ධියකටත් මං මූණ දීල තියනවා.සිංහල අය හොරෙන් ඕවා කරනවා.වෙරි‍ෆිකේෂන් අයින් කලා.ස්තූතියි.අඩු පාඩු පෙන්වලා දෙනවනම් බොහොම කැමතියි.

      Delete
  2. කොච්චර නෑකිව්වත් නුවරපැත්තෙ තාමමේකවෙනව නේද?

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව,කොළඹත් තියෙද්දි නුවර කොහොමත් තියනවා.හැබැයි එකපාර ඕවා එලියට එන්නෙ නෑ.

      Delete
    2. හප්පා... ඇයි එහෙම කියන්නේ? ඉස්සරනම් මේ පැත්තෙ ( නුවර ) ඕව තිබුන කියල පිලිගන්නව. ඒත් වර්තමාන පරම්පරාවනම් ඕව ගොඩක් දුරට අතෑරල කියල කියන්න පුලුවන්.....හැබැයි කෝවෙ දැම්මත් වෙනස්වෙන්නෙ නැති මිනිස්සු කොහෙත් ඉන්නව

      Delete
  3. ඔව් මනුස්ස හිතනෙ

    ReplyDelete